පොඩි ළමුන් වාහනවලට විශාල ඇල්මක් දක්වනවා. වෙළඳපොලේ වාහනවල ආකෘති සෙල්ලම් බඩු විදිහට නිර්මාණය කරන්නෙත් මේ නිසායි. පොඩි කාලේ ඉඳලා වාහනවලට දක්වත් ඇල්ම වැඩිහිටියෙකු වනවිටත් බොහෝ දෙනා තුළ තිබෙනවා. එලෙස ඇල්මක් දක්වපු පුද්ගලයෙකු කරන අපූරු වැඩක් ගැනයි මේ කතා කරන්න හදන්නේ.

ගම්පොළ පදිංචි රෝහණ නිරෝෂාන්ත මහතා කුඩා අවධියේ සිටම වාහනවලට දක්වන්නේ විශාල ආදරයක්. ඒ කැමැත්ත නිසාම ඔහු කාඩ්බෝඩ් භාවිතා කරමින් කුඩා අවධියේදී වාහන ආකෘති නිර්මාණය කරනවා. ඔහු වැඩිහිටියෙක් ලෙස සමාජගත වෙද්දීත් ඔහුගේ එම හැකියාව විනෝදාංශයක් ලෙස කරගෙන යනවා. එය මේ වනවිට විනෝදාංශයකට එහා ගිය ස්වයං රැකියාවක් ලෙසද වර්ධනය වී තිබීම ඔහුගේ හැකියාවට ලැබුණු වටිනාකමක් ලෙස දක්වන්න පුළුවන්.
“මම පොඩි කාලේ ඉඳලාම වාහනවලට ගොඩක් ආසයි. මම විතරක් නෙවෙයි පොඩි කාලේදී හැම ළමයෙක්ම වගේ වාහනවලට ආසයිනේ. පොඩි කාලේදි අපිට සෙල්ලම් බඩුවක්වත් අම්මා අරගෙන දුන්නේ නැහැ. අපිට ඕනේ දේවල් අපිම තමයි හදාගත්තේ. ඉතින් ඒ නිසා පොඩි කාලේ ඉඳලා පුළුවන් විදිහට ගෙදර වටෙන් පිටෙන් හොයාගන්න දේවල් අරගෙන පුංචි පුංචි වාහන කෑලි හදලා සෙල්ලම් කරනවා. බිස්කට් පෙට්ටි, කාඩ්බෝඩ් පෙට්ටිවලින් දකින දකින වාහනයේ හැඩය හැදුවා. ඒක තමයි මෙහෙම වාහන හදන පිස්සුවකට ගෙන ආවේ. ලොකු වෙද්දිත් ඒ ආසාව වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. මම මුලින්ම මෙහෙම දේවල් හදන්න පටන් ගත්තේ විනෝදාංශයක් විදිහට. දැන් නම් ඉතින් මේක ස්වයං රැකියාවක් වගේ කරගෙන යන්න පුළුවන් වෙලා. රට වටින්ම ඇණවුම් ලැබෙනවා. ඇත්තටම මට ඕනෑ වුණේ පාරේ යන වාහනවල එකතුවක් හදලා තියාගන්නයි. ඒ වාහන ආකෘතිවලින් මට ප්‍රදර්ශනයක් පවත්වන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒකට වාහන ගොඩක් ඕනෑ වෙනවානේ. ඒ නිසා දකින දකින වාහන හදන්න ගත්තා”
ලංකාවට ගෙන්වන භාවිතා කරන සෑම වාහනයකම පාහේ ආකෘති රෝහණ මහතා අතින් නිර්මාණය වී තිබීම විශේෂත්වයක්. විශේෂයෙන් සැබෑ වාහනයේ ආකෘතියට සමානව එලෙසින්ම කුඩාවට ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු සමත් වී තිබෙනවා. ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ලොරි, බස්, දුම්රිය එන්ජින් ඇතුළු වාහන රැසක් රෝහණ මහතා විසින් මෙලෙස නිර්මාණය කරනවා.

“මට පාරේ යන, අපි දකින ඕනෑම වාහනයක් ඒ විදිහටම හදන්න පුළුවන්. විනෝදාංශයක් විදිහට වාහන ආකෘති හදන කාලේදි මම වාහනයක බාහිර රූපය විතරයි හැදුවේ. මම ඒවා විකුණන්න නෙවෙයිනේ අදහස් කළේ. නමුත් දැන් අලෙවි කරන්න හදන වාහනවල නම් ඇතුලතත් ඒ විදිහටම මම හදනවා. බස්, කෝච්චි වගේ ආකෘතිවල නම් කොහොමත් ඇතුළත හදනවා”
“එක වාහන ආකෘතියක් නිර්මාණය කරලා ඉවර කරන්න මාස තුනක් වගේ කාලයක් යනවා. ගොඩක් ඉල්ලුම තිබෙනවා මේ ආකෘතිවලට. නමුත් කාලය පිළිබඳව ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. මට ආවට ගියාට උඩින් පල්ලෙන් අටවලා විකුණන්න බැහැනේ. මම තනියමම තමයි හැමදේම හදන්නේ. සහයට කවුරුත් නැහැ. මේ වගේම හැකියාවක් තියෙන කෙනෙක් හැරෙන්න වෙන කෙනෙක්ව අරගෙන වැඩකුත් නැහැනේ”

රෝහණ නිරෝෂාන්ත මහතා මෙම වාහන ආකෘති නිර්මාණය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය පරිසර හිතකාමී වීමද ඇගයීමට ලක් කළ යුතු කරුණක්. ඔහු පවසන්නේ ඔහුගේ විනෝදාංශය පරිසරයට හානියක් නොවන අයුරින් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන බවයි.
“මේ වාහන ආකෘතිවලට ගන්නේ පොඩි ළමයි සෙල්ලම් කරලා විසි කරන ප්ලාස්ටික් කාර්වල තිබෙන රෝදයි. පරණ බඩු එකතු කරන කඩවලින් මම ඒ රෝද අරගන්නවා. ඒ රෝදයට ගැලපෙන පරිමාණයට තමයි ආකෘතිය හදන්නේ. අවශ්‍ය වාහනයේ ඡායාරූපයක් අන්තර්ජාලයෙන් ලබාගෙන ඒ අනුව MDF බෝඩ් භාවිතා කරලා හදනවා. හැබැයි දැන් මේවාට තිබෙන ඉල්ලුම වැඩි නිසා මම ෆයිබර් භාවිතා කරලාත් කිහිපයක් හදන්න පටන්ගත්තා. හැබැයි ඒක මගේ හෘද සාක්ෂියට එකඟ නැහැ. මොකද මම මුලින්ම මේකට අමුද්‍රව්‍ය විදිහට ගත්තේ පරිසර හිතකාමී දේවල්නේ. ඉවතලන රෝද සහ ඉක්මනට පොළොවට දිරලා යන MDF බෝඩ්. මොකද අපි මේවා අවුරුදු පහ හයක් පාවිච්චි කරලා ඊටපස්සේ කුණු කූඩයට දානවානේ. එතකොට මේවා ඉක්මනට දිරනවා. හැබැයි ෆයිබර් වගේ එකකින් හැදුවාම ඒවා දිරන්නේ නැහැ. ඒ නිසා නැවතත් මම MDF බෝඩ් වලින්ම හදනවා.”


අත්කම් නිර්මාණ, පරිසර හිතකාමී නිර්මාණවලට වර්තමානයේදී විශාල වෙළඳපොළක්, විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව අප සැවොම දන්නා කාරණයක්. විශේෂයෙන් එවැනි නිර්මාණවල දක්නට ලැබෙන ස්වභාවිකභාවයට සහ සජීවීභාවයට බොහෝ රසකාමී පුද්ගලයින් විශාල කැමැත්තක් දක්වනු ලබනවා. රෝහණ මහතාගේ නිර්මාණවලටද එලෙස ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බව ඔහු පවසා සිටියේ මෙසේයි.
“ගොඩක් අය මේ වැඩේට කැමති වෙන්නේ මේවා අත්කම් නිර්මාණ නිසයි. මොකද අතින් හදන දේවල්වලට අද වෙද්දි විශාල වෙළඳපොළක් නිර්මාණය වෙලා තිබෙනවා. මම ෆයිබර් වලින් හැදුවාම ඒකේ අත්කම් ගතිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒක කෘතිමයි. අච්චුවකින් නිර්මාණයක් එළියට ගන්නවා වඩා තෘප්තියක් මහන්සි වෙලා අතින් හදන එකෙන් මට ලැබෙනවා. කවුරුහරි මගේ වාහනයක් ලස්සනයි, හොඳයි කිව්වාම මට ඒකෙන් විශාල මානසික තෘප්තියක් ලැබෙනවා.
මගේ නිර්මාණ ගොඩක්ම අරගන්නේ ලස්සනට තියන්න තමයි. පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න අරගන්න අය අඩුයි. ගොඩක්ම ඉල්ලන්නේ අතින් හදන නිර්මාණවලට කැමති පිරිස්. මම මේවා හැදුවේ නැතත් ප්ලාස්ටික් සෙල්ලම් බඩු පිටරටින් ගේනවානේ. ඒවා මාර්කට් එකේ රුපියල් සියයට දෙසියයට විකුණනවා. ඇත්තටම ඊටවඩා ලස්සනක්, වෙනසක් මේවායේ ඇතුලේ තියෙනවානේ. ඒකට තමයි මිනිස්සු ගොඩක්ම ආසා වෙන්නේ.ඇත්තටම මේ නිර්මාණයක මිල ටිකක් ඉහළයි. මොකද මේකට සෑහෙන්න කාලයක් ගත වෙනවා. විශාල මහන්සියක් වැයවෙනවා. ඒ මිල දරාගෙන මිලට ගන්න පිරිසක් ඉන්නවා. ඇත්තටම මේ එක වාහනයකට යන මහන්සිය මිල කරන්න බැහැ.”

රෝහණ නිරෝෂාන්ත මහතාගේ වෘත්තීයද ඔහුගේ විනෝදාංශයට සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්. ඔහු වෘත්තීයෙන් මෝටර් රථ වායුසමීකරණ කාර්මික ශිල්පියෙක්.
“රැකියාවේ වැඩ ඉවර කරලා රෑට තමයි මේවා හදන්නේ. එතකොට හිතත් නිදහස්. නිදහසේ මගේ වැඩ කරන්නත් පුළුවන්නේ. කලබලයකුත් නැහැනේ. මේ වගේ දෙයක් කලබලයකින් හදන්න බැහැ. ඉතා සියුම් දේවල් තමයි තියෙන්නේ. ඒකයි වැඩි කාලයක් මේ වාහනයක් හදන්න ගත වෙන්නේ”
රෝහණ මහතාගේ විනෝදාංශය වාහන ආකෘති නිර්මාණය කිරීමනේ. මේ වනවිට ඔහුට ලැබෙන ඇනවුම් විශාල ප්‍රමාණයක් ලැබෙනුයේ දුම්රිය මැදිරිවලටයි. ඒ පිළිබඳව ඔහු අදහස් දැක්වූයේ මෙලෙසයි.
“පාරේ දුවන වාහන හදන්න තමයි වැඩියෙන්ම කැමති. හැබැයි මේ වෙද්දි කෝච්චි පෙට්ටිවලට විශාල ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබෙනවා. බොහෝ දෙනා තමන්ගේ නිවසේ සාලය අලංකාර කරගන්න ඉල්ලන්නේ කෝච්චියක්. ඉතින් දැන් මම දුම්රිය එන්ජින් හදනවා”
රෝහණ මහතා මුලින්ම නිර්මාණය කළ වාහනයද ඔහු සතුව තවමත් ප්‍රවේසමට තිබෙනවා. ඔහුට කෙතරම් ඇනවුම් පැමිණියත් ඔහු නිර්මාණය කළ පළමු වාහන ආකෘතිය ඔහු අලෙවි නොකළ බව රෝහණ මහතා අපට පැවසූවා.
“මම මුලින්ම වාහන ආකෘතියක් හැදුවේ දැනට අවුරුදු හතකට විතර කලින්. ඒ 150 වර්ගයේ ප්‍රාඩෝ රථයක්. ඒක තවමත් මගේ ළඟ තිබෙනවා. මේ හදන වාහන එකකවත් ඉලෙක්ට්‍රොනික කිසිම දෙයක් අඩංගු නැහැ. මට ඒවා දාන්න බැරි කමක් නෙවෙයි. ඇත්තටම එහෙම දෙයක් දැම්මාම මේකේ තිබෙන ස්වභාවික ගතියට හානියක් වෙන්න පුළුවන්. නැත්නම් ගොඩක් අයගෙන් ඇනවුම් එනවා මොඩිෆයි කරපු වාහන හදලා දෙන්න කියලා. මම ඒවා හදන්නේ නැහැ.”
සාමාන්‍යයෙන් වෙළඳපොලේ දක්නට ලැබෙන ප්ලාස්ටික් නිර්මාණවල පැවැත්ම ඉතා කෙටි කාලයක් වනවා. නමුත් රෝහණ මහතා නිර්මාණයන් දීර්ඝ කාලීනව තබාගත හැකියි.
“අවුරුදු හත අටක් මේ වාහනයක් තියාගන්න පුළුවන්. මම මේ වාහනවලට ආලේපනය කරන්නේත් ඔරිජිනල් වාහනයේ තීන්තමයි. කාලයක් ගත වෙද්දි වාහනයේ පාට නම් ටිකක් අඩු වෙයි. ඒක ඇත්ත වාහනයකටත් බලපානවා. ඒ හැරෙන්න අනිත් දේවල් ඒ විදිහටම තිබෙනවා”
බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’
ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …