බස් රථ කියන්නේ වර්තමානයේ ප්‍රවාහන ක්ෂේත්‍රයට එහා ගිය උපසංස්කෘතියක් ඇති කළ ක්ෂේත්‍රයක්. බස් රථ කෙරෙහි තරුණයන්ගේ වැඩි නැඹුරුවත් සමගම එය වෙනත් දිශාවකට කේන්ද්‍ර ගතවිය. එය නැවතුනේ බස් කලාව නැමති උපසංස්කෘතිය නිර්මාණය කරමින්. මේ යටතේ, බස් ස්ටිකර්, බස් පේන්ටින්, විසිතුරු ලයිට්, මගීන්ගේ පහසුව සඳහා බස් රථය තුළ විවිධ විශේෂාංග (WiFi, Charging Point, Water Bottle, Toilet Facility, DJ system…) මගීන් ගෙනයන බස් රථයට ආරූඪ විය. ඇතැමුන් බස් අනුරූ නිර්මාණය කළා. අපි අද කියන්න යන්නේ එවන් බස් අනුරූ නිර්මාණය කරන තරුණයෙක් ගැන. බස්වලට ආදරේ කරන, අනාගතය බස් කරගත්තු මේ තරුණයා නමින් උශිර සිහිලැල්.

ඔබ ගැන සඳහන් කළොත්?
මගේ නම උශිර සිහිලැල් මන්දාර (වයස 23යි). ගම දොම්පේ, මාලිඳ ගම. වව්නියා කැම්පස් එකේ දෙවනි වසරෙ තමයි මම ඉගෙන ගන්නෙ. ඇයි බස්වලටම කැමති? ඒක එහෙම කියන්න බැහැ. මොකද මම දන්න කාලෙ ඉදලම බස්වලටම තමයි කැමති. කොහේ හරි ගියොත් අනිවාර්යයෙන්ම බස්එකක් ගේනවාමයි. ඒ තරම් මම බස්වලට අසයි. පුංචි කාලේ ගෙනාපු බස් තාමත් මගේ ළඟ ආරක්ෂා කරලා තියෙනවා.
බස් අනුරූ නිර්මාණයට පෙළෙඹෙන්නේ කොහොමද?
බස්වලට තියෙන ආශාව තමයි මේ බස් අනුරු නිර්මාණය කරන්න මාව පෙළඹවන්නේ. මම ස්කෝලේ 4 වසරෙදී වගේ බිස්කට් පෙට්ටි කපල, රෝද හයි කරලා බස් හැදුවා. 2013 දී වගේ ස්කොලෙ ප්‍රදර්ශනයකට මම හැදුව බස් එක ස්කෝලෙන්ම දෙවනි තැන ගත්තා. එයින් ලැබුණු පන්නරයත් එක්ක බස් අනුරු හදන එක ටිකෙන් ටික දියුණු කර ගත්තා.

වැඩියෙන්ම නිර්මාණය කරන්න කැමති මොනවගේ බස් අනුරුද?
දන්න කියන කාලෙ ඉඳලම ලේලන්ඩ් බස් තමයි හදන්නේ. ඊට අමතරව, පරණ බස් හා ගොඩ දෙනාගේ ඉල්ලීමට Classic Version එහෙමත් හදල දෙනවා.

බස්වලට අමතරව ටිපර් රථත් හදනවා. බස් අනුරුවක් නිර්මාණය කරන්නේ කොහොමද?
පුංචි කාලේ බස් අනුරු සඳහා ගත්තේ බිස්කට් පෙට්ටි. දැන් මං වැඩියෙන්ම යොදාගන්නේ Box Board කියන බෝඩ් එක. හදන බස් එකේ ප්‍රමාණය තීරණය කරලා ඊට පසු අවශ්‍ය ප්‍රමාණ මැනගෙන කපා අලවලා තමයි බස් හදන්නේ. සැබෑ බස් රථයක ඇතුළේ තිබෙන සීට්, ස්ටීරින් වීල්, ලයිට් ඇතුළු සෑම දෙයක්ම මේ කුඩා බස් අනුරු ඇතුලේ මම නිර්මාණය කරනවා.
ඒ සඳහා කොපමණ කාලයක් ගත වෙනවද?
ඉස්සර නම් මට බස් එකක් ඇතුලත් එක්කම සම්පූර්ණයෙන් ඉවර කරන්න සතියක් වගේ කාලයක් ගියා. ඒත් දැන් නම් හදලා හදලා පුරුදු නිසා දවස් තුනක් වගෙ තමයි යන්නේ.

ඉදිරියේදී බස් අනුරු නිර්මාණය කුමන අකාරයට වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවද?
දැන් හදන අනුරුවලට ලයිට් එහෙම එකතු කරනවා. ඉදිරියේදී වැඩි දියුණු කරලා සම්පූර්ණයෙන් චැසියත් එක්ක හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කළ හැකි සේ නිර්මාණය කරන්නත් අදහසක් තියෙනවා.
ව්‍යාපාරයක් විදිහටද මෙය කරන්නේ? එහෙනම් බස් අනුරුවක් කොපමණ මිලක් වෙනවද?
මුලින්ම මම පටන් ගත්තේ ආශාව නිසා. අද වනවිට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත බස් අනුරූ නිර්මාණය කර දෙනවා. පසුගිය කාලයේදී ගෙදරට වෙලා නිකම්ම ඉන්නෙ නැතුව බස් අනුරූ නිර්මාණය කරලා වියදමට කීයක් හරි හොයා ගත්තා. මොකද මම දන්න දෙයින් ප්‍රයෝජනයට ගන්න ඕනෙ නිසා. සාමාන්‍යයෙන් මේ වගේ බස් අනුරුවක් රු. 2,500 -3,000ත් අතර මුදලකට අලෙවි කරනවා.
මිල තීරණය කරන්නේ කොහොමද?
දවස් 3කින් වගේ බස් එකක් හදලා ඉවර කරන්න පුළුවන් වුණත්, එක නිර්මාණයක් සඳහා මං මගේ උපරිමය යොදවනවා. ගොඩක් වෙලාවට නිර්මාණය කරන බස් එක වෙනස් උනත්, මහන්සිය එකයි. ඒක නිසා තමයි ගොඩක් බස් එකම මිලකටම විකුණන්නේ. ෆුල් ස්ටිකර් කරලා දෙනවනන් මිල ගණන් වෙනස් වෙනවා.
බස් අනුරු නිර්මාණය නිවසෙන්, යාලුවන්ගෙන් ලැබෙන දායකත්වය?
තනියම මේ වගේ ගමනක් එන්න අමාරුයි. ගෙදර කට්ටියත් මට ඒකට ගොඩක් උදව් කරනවා. ඒ වගේම අම්මයි, අයියයි වෙනස් විය යුතු තැන්, හැදෙන්න ඕන තැන් පිළිබඳ අදහස් ලබා දෙනවා. තවද, මගෙ යලුවොත් නිර්මාණය සඳහා උදව් කරනවා.
අනාගත බලාපොරොත්තුව?
මම කුඩා කාලේ ඉඳලම හීන දැක්ක එක තමයි බස් හිමිකරුවකු වෙන එක. මගේ අනාගත බලාපොරොත්තුවත් ඒකයි. උදාහරණයක් විදිහට කියනවානම්, DS ගුණසේකර මහතා, ඊබට් සිල්වා මහතා වගේ වෙන එක. එ තත්ත්වයට එන්න සල්ලි අවශ්‍ය නිසා තමා මම හොදට ඉගෙන ගන්නේ.
ඔහුව අමතන්න 071 36 94 134







බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’
ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …