බාල මහලු, ගැහැණු පිරිමි භේදයක් නැතිව හැමෝම එක වගේම ආසයිනේ සංචාරය කරන්න. ඒ වගේම අද වෙද්දි තරුණ පරපුර අතර බයික්වලින් ට්‍රැවල් කරන්න, හයිකිං යන්න, කෑම්පින් යන්න විශාල ප්‍රවණතාවක් ඇතිවෙලා තිබෙනවා. බයික් එකකින් ට්‍රැවල් කරද්දි දැනෙන හැඟීම හරිම වෙනස්. බොහෝ වෙලාවට වෙනත් වාහනයකින් යද්දි දකින දේවල්වලට වඩා බොහෝ දේ බයික් එකකින් ට්‍රැවල් කරද්දි දකින්න පුළුවන්. ඒත් ඉතින් බයික්වලින් ට්‍රැවල් කරද්දි ගොඩක්ම ප්‍රවේසම් වෙන්නත් ඕනේ.  ඒ නිසා අපි කතා කරමු  බයික් එකකින් ට්‍රැවල් කරද්දී විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ මොන වගේ දේවල්වලට ගැනද කියලා.

Ho Chi Minh Trail by Motorbike group shot copy

ගමනට පෙර

බයික් එකකින් දුර ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම බයික් එක ගමනට සුදුසු මට්ටමෙන් පවතිනවාද කියලා පරික්ෂා කිරීම අවශ්‍යම වන කාරණාවක්. මෙහිදී අපි අපේ ගමන් සහකරුවාගේ එන්ජිම හොඳ තත්වයෙන් තිබෙනවාද, යම් ශබ්දයන් ඇහෙනවාද කියලා පරික්ෂා කරලා බලන්න ඕනේ. එන්ජිමේ කුඩා හෝ ගැටලුවක් තියෙනවා නම් ඒක ගමනට පෙරදීම යතුරුපැදි අළුත්වැඩියා මධ්‍යස්ථානයකට ගොස් සකසා ගැනීම ඉතා වැදගත්.

යතුරු පැදියේ තෙල් සහ කේබල් පරික්ෂා කිරීමද ගමනක් යෑමට පෙර අපි විසින් සිදුකළ යුතු ඉතා වැදගත්ම කාර්යයක්. එන්ජිමේ තෙල් (Engine Oil) කාලයක පටන්ම මාරු කර නැති නම් සංචාරයක් යෑමට පෙර එහි තෙල් මාරු කරගැනීම සිදු කළ යුතුයි. නැතිනම් ගමන අතරතුරදී එන්ජිම එකවරම හිරවී ගමනට බාධාවක් විය හැකියි.

ඒ වගේම තිරිංග පද්ධතිය ගමනට සූදානම්ද කියලත් පරික්ෂා කිරීම වැදගත් වෙනවා. Disc Brake System ඇති යතුරුපැදියක් නම් ඩිස්ක් එකේ තෙල් තියනවාද කියලත්, ඔබේ යතුරුපැදිය Drum Brake System තිබෙනවා නම් එහි කේබලුත් හොඳ මට්ටමකින් තිබෙනවාද කියලත් බලාගන්න ඕනේ.

ඒ වගේම බයික් එකේ ටයර්, හුළං, ටියුබ් හොඳ මට්ටමේ තිබෙනවාද කියලා පරික්ෂා කිරීමත් අපි ගමනට පෙරදීම සිදු කරගන්න ඕනේ. බයික් එකේ ඉන්ධන ටැංකිය සම්පූර්ණ කරගැනීම සහ හැකිනම් අමතර ඉන්ධන බෝතලයක් සූදානම් කරගන්න පුළුවන් නම් එයත් වැදගත් වනවා. විශේෂයෙන් ගමන අතරතුරදී විටෙන් විට ඉන්ධන පුරවා ගැනීමට සිදුවන නිසා ‘රිසව්’ මට්ටමට පැමිණි විගසම තවත් ගමන් නොකර ළඟම ඉන්ධන පිරවුම්හලකින් ටැංකිය පුරවා ගත යුතුයි.

ඒ වගේම අපේ යතුරුපැදියේ Headlight, Tail Light, Turn Signal, Horn එක වැඩකරනවාද කියලත් විශේෂයෙන් සොයා බලන්න ඕනේ. මොකද අපි යන්නේ ඉතා දිගු ගමනක් නිසා ඒ වගේ දේවලුත් අපිට වැදගත් වෙනවා. යතුරුපැදියේ අදායම් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර, රක්ෂණ පත්‍ර ඇතුළු ලියකියවිලි නිරවුල් නැතිනම් ඒවා නිරවුල් කරගැනීම බොහෝ දෙනෙකුට අමතක වනම දෙයක් නිසා ගමනට පෙර අපි ඒවාත් මතක් කරා ඔන්න.

ගමනේදී

ඉහත කියපු සියලු දේම හරි නම් අපිට අපේ ගමන නිදහසේ යන්න පුළුවන්. මේ කියන්න හදන්නේ අපේ දුරගමනේදී අපි සැලකිලිමත් විය යුතු දේවල් කිහිපයක්. අපි ගොඩක් දුර ගිහිල්ලා විඩාව නිවාගැනීමට සුදුසු තැනක යතුරු පැදිය නවත්වනවා නම් යතුරුපැදියේ එන්ජිම ක්‍රියා විරහිත නොකර ප්‍රධාන ආධාරකය (Main Stand) භාවිතා කරමින් නතර කර තැබීම වැදගත් කාරණයක්.

දිගු දුරක් ගමන් කළ එකවරම බයික් එකේ එන්ජිම ක්‍රියා විරහිත කර තැබීම නම් එන්ජිමට එතරම් හොඳ දෙයක් නෙවෙයි. කොහොමත් අපේ ගමන් සඟයාටත් කෙටි හෝ විවේකයක් ලබා දෙන එක වැදගත්.

ඒ වගේම මාර්ග නීති, මාර්ග සංඥා අකුරටම පිළිපදිමින් ගමන් කිරීම නම් කරන්නම ඕන දෙයක්. ගොඩක් වෙලාවට තරුණ තරුණියන් එකතු වෙලා බයික්වලින් ට්‍රැවල් කරද්දි අධික වේගයෙන් යෑම, තනි රෝදයෙන් යෑම, දෑත් අත් හැර යෑම වැනි දේවල් කරනවානේ. ඒවගේ දේවල්වලින් ඉවත් වෙලා තමන්ට පැදවිය හැකි වේගයකින් ගමන් කිරීම සිදු කළ යුතුයි. මොකද අපේ ආරක්ෂාවත්, දඩ කොලයක් නොකෑමත් සාර්ථක ගමනකට ඉතා වැදගත් වනවා.

පසුපස කෙනෙක් යනවා නම් එයා හැමවිටම පදවන්නා සමග සන්නිවේදනයක යෙදී සිටීම හොඳ දෙයක්. ඒ ඇතැම්විට රාත්‍රී ගමනකදී හෝ ඒකාකාරී ගමනකදී නින්ද යෑමේ ඉඩක් තිබෙන නිසා. නමුත් රාත්‍රී කාලයේදී හැකිතාක් ගමන් නොකර ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම දෙදෙනා මාරුවෙන් මාරුවට යතුරුපැදිය පදවනවා නම් ආරක්ෂිතව ගමන් කරන්නත් පුළුවන්. ඔබ අව්කණ්ණාඩි, අත් ආවරණ, මුව ආවරණ, ජැකට් වැනි දේ පැළඳීමට හැකි නම් දුර ගමනක් යනවිට ඒවාද පැළඳීමට අමතක කරන්න එපා.

ඔබ සංචාරය කරනවිට සිත්කළු ස්ථාන නරඹන අතරම ඒවා ඡායාරූපගත කරනවානේ. බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ගමන් සඟයා සමගද ඡායාරූප ලබාගන්නවා. ඇත්තටම ඒක හොඳ දෙයක්. සමහරු නම් යතුරුපැදිය පාර මැද නවත්වලා විවිධ ඉරියව්වල ඡායාරූප ගන්නවා. ඒ වගේ අවස්ථාවලදී ඡායාරූපය කෙතරම් ලස්සන වූවත් පාර දෙපැත්ත පිළිබඳව හොඳ අවධානයක් දෙන්න ඕන වගේම හැකිතාක් එවැනි ඡායාරූප ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

ඒ වගේම අපි බයික් එකේ යනගමන් දුරකතනය භාවිතා නොකිරීම, සිංදු අහමින් පැදවීම සිදු නොකළ යුතු බවත් මතක තබා ගන්න.

banniere 2 1 copy

ගමන අවසානයේදී

ට්‍රැවල් කරලා ඉවර වුණාට පස්සේ අපි රාත්‍රිය ගත කරන තැනදී අපේ යාළුවාට හොඳ විවේකයක් ලබා දීලා, එයාව පිරිසිඳු කරන එක අපේ යුතුකමක් විදිහට හිතමු. ඒත් එන්ජිමට වතුර නොයන විදිහට පිරිසිඳු කරන්න ඕනේ කියලා තරයේම මතක තබාගන්න හොඳේ. ඒ වගේම බයික් එකට යම් හානියක් සිදු වෙලා නම් ඊළඟ දවසේ ගමන ආරම්භයට පෙරදීම එය නැවත යථා තත්ත්වයට ගන්න කටයුතු කරනවා නම් ඊළඟ දවසේදී ගමන නිදහසේ ආරම්භ කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

කොළඹ සිට උඩවලව හරහා කතරගම දක්වා බයික්වලින්

බයික්වලින් ඔහියේ ඉඳලා කලුපනට යන Road Trip එකක් මීට පෙර අපි ඔබට ගෙන ආවා. මෙවර අපි ගෙන එන්න …