බයික්වලින් ඔහියේ ඉඳලා කලුපනට යන Road Trip එකක් මීට පෙර අපි ඔබට ගෙන ආවා. මෙවර අපි ගෙන එන්න සූදානම් වන්නේ කොළඹ ඉඳලා කතරගමට බයික්වලින් ගිය Road Trip ගැන. අද කාලයේ මේ වගේ Road Trip එකක් සංවිධානය කරන්නත් යන්නත් ඊටම කැපවෙන්න වෙනවා. ඒ ඇයි කියලානම් අහන්න එපා. ගමන ටිකක් දුරයි. ඒ නිසා අපි කෙලින්ම ගමන ආරම්භ කරමු.

වෙලාව අලුයම 2.15යි. බොරලැස්ගමුවෙන් ගමන ආරම්භ කළේ අපි 4දෙනෙක්, බයික් 2කින්. පිළියන්දල ත්‍රිපිටක මහා විහාරයට පඬුරු දමා ගමන පටන් ගත්තේය. දැඩි කලුවරත්, මීදුමත් අතරින් 4.15 පමණ වනවිට රත්නපුරයට ළඟා වුණා. ඒ අපේ අනෙක් ගමන් සඟයන්ව එකතු කරගැනීම සඳහාය. දැන් ඔක්කොම පිරිස ලක්මාල්, මල්ශාන්, කණිෂ්ක, නදීශානී, ගයාන් හා නිලුපුල් යන 6 දෙනයි. බයික් 3යි. එතැන් සිට රත්නපුරේ සමන් දෙවි පිහිටත් රැගෙන ගමන ඇරඹුවා. ඇඹිලිපිටිය – රත්නපුර පාරේ කි.මී. 10ක් පමණ ගිය විට පාර අයිනේ වූ කඩයකින් කෝපි බී නැවතත් ගමන් ඇරඹිය.
මෙම ගමන ආරම්භ කිරීමට දින දෙක තුනකට පෙර අපේ යාලුවෙක් වූ අවිශ්කට කියා බයික් සේරම ගමන සඳහා සූදානම් කරගත්තා. ඔහුගේ අනුදැනුම මත බයික් එකේ චේන් එක, බ්රේක් එක, ටයර්, ඔයිල් වැනි දේවල් Check කර, කේබල්ටික Oil කර ගත්තා. අනෙකුත් දේවල්වල ගැටලුවක් නොමැති බව ඔහු තහවුරු කළේය. ගමන ටිකක් දුර නිසා අවශ්‍ය වෙයි සිතා බයික්වලට Chargers ටිකක්ද සවිකර ගත්තා. මේ අයුරින් ගමන සඳහා යතුරුපැදිය සූදානම් කළේය.

ගමනේ අතරමගදී හමුවන උඩවලව වේල්ලට පිවිසෙන විට උදේ 6.30 වගේ වෙලා. උදේ පාන්දර වේල්ලක් උඩ තියෙන සුන්දරත්වය, ඒ වටපිටාවේ ගහකොල, සතා සීපාවා අලුත් දවසක් ආරම්භ කරන්න වෙරදරන හැටිත් සමග, වේල්ල හරහා හමායන නැවුම් වූ සිසිල් සුළගත් යම් කිසි සුන්දරත්වයක් මවන්නේද, බයික් එකේ යනවිට එය දෙගුණ තෙගුණ වී දැනෙනු ඇත. ඒ වගේම මිතුරන් සමග එය විඳගන්නවා කියන්නේ මානසික හා කායික නිදහස උපරිමයටත් එහා ගිය අවස්ථාවක්. මේ සියල්ල උපරිමයටම විඳිමින් වේල්ල පහුකර කි.මී. 5-6 පමණ ගිය විට උදේ කෑම සඳහා නැවැත්විය. ඉන් පසු කෙලින්ම ගමනාන්තය වූයේ කතරගම යාලුවෙකුගේ නිවසයි. උදේ 8.15 – 8.30 පමණ වනවිට යාලුවාගේ ගෙදරට ගිය අතර, ගෙනා බඩු බාහිර නිවසින් තබා බයික්වල බර සැහැල්ලු කළේය. කතරගම උදේ පූජාවට සහභාගීවීමට සිතා වොෂ් එකක් දමා කතරගමට ගොස් කිරිවෙහෙර වැඳ, පූජාවට සහභාගීවිය. එතැනින් සෙල්ල කතරගමට ගොස් වැඳපුදාගත්තා. කතරගම ගිහින් දොදොල් කෑල්ලක් ගත්තේ නැත්නම් වැඩක් නැති නිසා, සෙල්ලකතරගමදී දෙදොල් කාලා, බීම බීලා 1.15ට පමණ නැවත යාලුවාගේ නිවසට පැමිණියේය.

කතරගම ඉඳලා මොනරාගලට කිලෝමීටර් 68ක් පමණ දුරක් තිබෙනවා. සැලසුම් කළ පරිදි මේ ගමනේ විශේෂම ගමන් වන්නෙත් මේ කිලෝමීටර් 68ක දුරයි. මොකද රෑ වෙන්න කලින් මේ දුර ගෙවා දැමිය යුතු වෙනවා. ඒ අලි ප්රශ්නය නිසා. මොකද රෑට විතරක් නෙමෙයි දවල්ටත් මේ පාරේ මැද අලි ඉන්නවා. රෑ වෙද්දි ඒක වැඩි වෙන නිසා යාලුවාගේ නිවසේදී නැවත බඩු බාහිර බයික්වලට පටවා ඉක්මනින්ම මොනරාගල බලා ගමන ආරම්භ කළේය. උදේ කෑමටගත් පාන් නිසා බඩවල් පිරී තිබූ අතර, දවල් කෑම ගැනද ඒ නිසා වැඩි වුවමනාවක් නොවීය. අපි සිතූ පරිදිම පාරේ අලි දැක ගන්නට ලැබිණි. ඒ පාරේ නිතරම යන අයෙක් කිව්වේ අලියා ඉන්න තැනින් Slow කරන්නේ නැතුව අනිත් පැත්තට දමා වේගෙන් යන්න කියලා. මේ ගමනේදී පාරේ සිටින අලි 7 දෙනෙකු දැකගන්නට අවස්ථාව හිමිවිය. ඒ වගේම එහි රසවත් සිදුවීමක්ද සිදුවිය. අප බයික් පාස්කරමින් ගිය වනජීවී වාහනය දැක පාර අයිනේ සිටි අලියෙක් කැලයට දිව ගියේය. අනෙකුත් වාහන අලියා අසලින් ගියද, ඉරියව්වේ වෙනසක් සිදු නොවූ අතර, වනජීවී වාහනය දුටු විටම අලියා ක්ෂණිකව කැලයට දිව ගියේය. අලියට ඒ වාහනය ගැන කොපමණ මතකයක් තිබෙන්නේද යන්න ඉන් පැහැදිලි වෙනවා.
ගමන ප්ලෑන් කලේ සෙනසුරාදා එළිවෙන්න ගිහින් ඉරිදා එන්න. ගමන සඳහා අත්‍යඅවශ්‍ය බඩු බාහිර පමණක් රැගෙන ගියේය. මොකද 6 දෙනෙකුගේ බඩු බයික් 3ක ගෙනියන්න ඕන නිසා. Hunk එකෙහි FZ බයික්වල ටැංකිවල ගෙනාපු බෑග් ගැටගැසූ අතර, අනිත් ලොකු බෑග් එකකට තිබුණේ Hiking බෑග් එකක්. ඒක පිටේ එල්ල ගත්තා. ඊට අමතරව BBQ මැෂින් එකක්ද අපි රැගෙන ගියා. ඒක අතේ ගෙන යා හැකි වන සේ Pack කළා. අනිත් ප්‍රධානම දේ තමයි තෙල්. එක බයික් එකකට තෙල් ලීටර් 20ක් පමණ වනසේ ගණන් බැලූ අතර, අරන් ගියේ තෙල් ලීටර් 10කි. බයික් සේරම (Hunk බයික් එකට ලීටර් 16ක්ද, FZ එකට ලීටර් 14ක්ද, Apache එකට ලීටර් 16ද) ෆුල්ටෑන්ක් කළ අතර, අමතරව අරන්ගිය තෙල් ලීටර් 10, කෑන් දෙකකට 5, 5 දමා Hunk එකෙහි Apache බයිකේ Side එකෙන් එල්ලා ගත්තා.

කි.මී.68ක පමණ දුරක් ආරක්ෂිතව සවස 3.45ට පමණ මොනරාගල නගරයට පැමිණියේය. ඒ එන ගමන අතරමගදී උණු උණු පොල් රොටියයි, කරපිංචා මිරිසයි, පොලොස් ඇඹුලයි රහ බලලා මැටි කෝප්පයකින්උණුම උණු කහට කෝප්පයක් බිබී ඊටම ගැලපෙන පරිසරයක සිට විඩාව නිවා ගැනීමටද අමතක කළේ නැහැ. රාත්‍රිය නවාතැන් ගන්න බලාපොරොත්තු වන්නේද තවත් යාලුවෙක්ගේ ගෙදර. ඒ නිවසට යෑමට පෙර රාත්‍රී ආහාරය හා BBQ සඳහා අවශ්‍ය කුකුල්මස්, සොසේජස්, කුළුබඩු වැනි අඩුම කුඩුම මොනරාගලින් මිලදී ගත්තා. යාලුවාගේ නිවසට යනවිට හවස 4.15 පමණ විය. ගෙවල් ලඟ දියපාරකින් නාලා කරලා ඇවිත්, උයන්න පටන් ගත්තා. BBQ දාන්නත් පටන් ගත්තා. මේ අතරතුර, සැලසුම් කළ මාර්ගය වෙනස් කරමු කියලා පොඩි සාකච්ඡාවක් ආරම්භ වුණා. ඒ අනුව ගිය මාර්ගයේම නොයා, කොස්ලන්ද පැත්තෙන් යන්න මෙහිදී තීරණය විය. එයත් සම්මත කරගෙන රාත්‍රී ආහාරයත් ගෙන, රාත්‍රී 12.00ට පමණ නින්දට ගියේය.



උදේ 6.00 වනවිට නැගිටලා, මුහුණ සෝදාගෙන යාලුවාගේ පියා සකස් කර තිබූ උදේ කෑම ගත්තේය. 8.15 පමණ වනවිට ඒ නිවසින් පිටවී මොනරාගලින්, වැල්ලවායටත් එතනින් කොස්ලන්ද පාරට එකතු විය. ඒ පාරේ ඒන විට 10.15ට පමණ දියලුම දිය ඇල්ල නරඹා, පොටෝ ටිකකුත්ගහගෙන ආපහු එනවිට තේ බොන්න නැවැත්විය. එතැන විනාඩි 30ක් විතර සිට නැවත ගමන ආරම්භ කළේය. පසුව හපුතලේ – බෙරගල මාර්ගයට පිවිසියේය. එතැනින් කොළඹ දෙසට එන විට අතරතුර නවතා අලිගැටපේර වැනි දෑ මිලදී ගැනීමටද අමතක කළේ නැහැ. බඹරකන්ද දිය ඇල්ල බැලීමට යන්න සිතුවත් වේලාව අනුව එය සාර්ථක නොවූ අතර, පිටුපසින් පැමිණි බයික් එක කළ යෝජනාවකට අනුව පහන්තුඩාව ඇල්ල බැලීමට යන්න තීරණය කළේය. පහන්තුඩාවලත් බලලා, Photo ගහලා හවස 2.30 එතැනින් එළියට ඇවිත් බීම එකක් එහෙම බීලා ආපහු බලංගොඩ දක්වා ගමන් ඇරඹිය. ඒ යාලුවෙකුගේ කඩයකට යෑමේ අදහසිනි. බලංගොඩට 3.30ට පමණ පැමිණ එතැනිනුත් බීම එකක් බීලා, කාලා නැවත රත්නපුරය දක්වා ගමන් ඇරඹිය. ගමන සඳහා පසුව එකතු වූ බයික් එකේ මිතුරන් දෙදෙනා රත්නපුරයේදී නැවත වෙන්විය. අවසානයේදී අපි 5.00ට පමණ කෙලින්ම බොරලැස්ගමුව දක්වා ගමන් ඇරඹිය.

උඩවලව, කිරිවෙහෙර, සෙල්ලකතරගම, මොනරාගල, වැල්ලවාය, දියලුම, පහන්තුඩාව, බලංගොඩ, රත්නපුරය සිට කොළඹ දක්වා කිලෝමීටර් 540-550ක පමණ සම්පූර්ණ දුරක් ගෙවමින් ගමන නිමා කළේය. අමතරව රැගෙන ගිය පෙට්‍රල් ටික සේරමද ඉතිරි විය. බයික්වලින් මෙවැනි ගමනක් යෑමේදී දන්නා කියන ස්ථානයක් හෝ නවතින ස්ථානයක් කල්තියාම වෙන්කර ගැනීම සුදුසුය. බයික්වල යන නිසා ඇතැම් ස්ථානවල බඩු බාහිර තබා නොයා යුතු අතර, අදාල නවාතැන් ස්ථානයෙන් බඩු බාහිර බහා, බයික් ටික නිදහස් කර ගමන ආරම්භ කිරීම වඩාත් සුදුසුය.





ස්කූටර්වලින් ඔහියේ සිට කළුපහනට
දැඩි මීදුම අතරින් බයික් පහකින් ඔහියේ ඉදන් කලුපහනට කිලෝමීටර් 22ක් ගියපු ඒ ගමන.. …