තෙල් නැති රටක හදිසියේම පාපැදිය කරලියට ඒමත් සමග පාපැදියේ මිලත් ඉහළ ගිහින් රු. 50,000ක් පමණ වී තිබෙනවා. ඉදිරියේදී පාපැදියක් ගන්නත් ෆිනෑන්ස් එකක් දාන්න වේවි යැයිද පසුගිය දිනෙකදී තෙල් පෝලිමක සිටි මා මිතුරෙක් පැවසුවා. කෙසේවෙතත් පාපැදියට මේ ලැබුණු තැන නිසා මේ වෙද්දි වැඩියෙන්ම කාර්යබහුල වෙලා ඉන්නේ වින්කල්කරුවන්. ඉතින් විංකල් අංකල්ලා එක්ක පොඩි කයියක් දාන්න කොළඹ අවට නගරවල විංකල්වල පොඩි රස්තියාදුවක් ගැහුවා.
පන්නිපිටිය ප්‍රදේශයේ විංකල්කරුවෙකු වන රාමනායක අංකල් මේ දිනවල නම් ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ. ඔහුගේ විංකලයට කොට්ටාව, මහරගම, පන්නිපිටිය, ඇරැව්වල වැනි ප්‍රදේශවලින් පාපැදි රෙපයාර් කරගැනීමට බොහෝ දෙනෙක් එනවා. ඒ රාමනායක මහතාගේ වැඩවල ප්‍රමිතිය උසස් නිසා කියලයි අපට දැනගන්නට ලැබුණේ. රාමනායක මහතා වින්කලේ අයිතිකරු වගේම බොහෝ බයිසිකල්වල වැඩ කෙරෙන්නේ ඔහුගේ ශිල්පීය ක්‍රමවලින්. ඒ වගේම තවත් සේවකයෝ දෙදෙනෙක් රාමනායක මහතාගේ සහායට ඉන්නවා. රාමනායක මහතා අප සමග සාකච්ඡාවට එකතු වුණේ සහායකයින් දෙදෙනාට වින්කලේ වැඩකටයුතු තාවකාලිකව පවරලා.

“අපි උදේ නවයට වින්කලේ ඇරියාම හවස හත අට විතර වෙනකල් එක හුස්මට වැඩ කරන්න වෙනවා. උදේ පාන්දර මෙතන පෝලිම ගැහිලා මිනිස්සු ඉන්නවා. මැදි වයස්වල අය, තරුණ ළමයි හැමෝම වගේ එනවා. මේ දවස්වල ඉතින් ටිකක් වැඩ හොඳයි. ඇයි ඉතින් රටේම තෙල් නැහැනේ. මිනිස්සු හැමෝම සයිකලේට බැහැලානේ. මම ඔය පරණ බයිසකල් බොඩිය අරගෙන අළුතෙන් බඩු දාලා හදලා පේන්ට් කරලා බයිසිකල් විකුණනවා. ඒත් මේ දවස්වල ඒ එකක්වත් හදන්න වෙලාවක් ලැබුණේ නැහැ. මොකද මිනිස්සු කැඩිච්ච පරණ බයිසිකල් අරගෙන එනවා හදාගන්න.”
රාමනායක මහතාගේ වින්කලේ අපි ඉඳිද්දී පාසැල් යන වයසේ ළමයෙක් පැරණි බයිසිකලයක් හදාගැනීමට වින්කලයට පැමිණියා. ඒ ළමයා එක්කද අප කතාවට වැටුණා. ඔහු අප සමග පැවසුවේ මෙවැන්නක්.
“මගේ බයිසිකලේ නෙවෙයි මේ. ඒක ගෙදර. මේක මේ තාත්තට වැඩට යන්න හදාගන්න ආවේ. ගෙදර ගබඩාවේ දාලා තිබ්බ බයිසිකලේ.”
රාමනායක මහතා වින්කලේ සිටි සියල්ලෝම සිනහා ගස්සමින් මෙවැනි කතාවක්ද අප සමග පැවසුවා.
“වෙනදට හවසට ලොකු ලොකු නෝනලා මහත්තුරු බයිසිකල් පැද්දේ ආසාවටයි එක්සයිස් එකටයි. දැන් එයාලාත් රස්සාවට යන්නේ බයිසිකලෙන්.”
අපි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පාපැදි අළුත්වැඩියාකරන ස්ථානයකට ගොඩවුණේ එහි විංකලේ අංකල් කරමින් සිටි රාජකාරියට පොඩි බාධාකිරීමක් කරමින්.
“අපිට නම් වෙනසක් නැහැ. ඒත් දැන් මිනිස්සු බයිසිකල් වැඩියෙන් පදිනවා. ගෙවල්වල තිබෙන පරණ බයිසිකලුත් හදන්න අරගෙන එනවා. බයිසිකල්වල පාර්ට්ස් අඩුයි. පාර්ට්ස් එන්නේ නැහැ. දැන් මිනිස්සු ගෙවල්වල තිබෙන බයිසිකල් හොයාගෙන අරගෙන එනවා. හදාගන්න. සමහර බයිසිකල්වල පට්ටම විතරයි තියෙන්නේ. අනිත් ඔක්කෝම අළුතෙන් දාන්න ඕනේ.”
ඒ ඔහුගේ අදහස. පාපැදිවල අමතර කොටස් ඉහළ ගිහින් තිබෙනවානේ. ඒ එක්කම අපි වින්කලේ අන්කල්ගෙන් ඇහුවේ රෝදවලට හුළං ගහන්නෙත් පරණ ගානටමද කියලා. ඒ ප්‍රශ්නයට වින්කලේ අන්කල් හිනාවෙවී පිළිතුරු දුන්නේ මෙහෙමයි.
“දැන් රෝද දෙකට හුළං ගහන්න රුපියල් හතලිහක් ගන්නවා.”

විංකලේ අංකල් එක්ක කතාවේ ඉද්දි පාපැදියක් අළුත්වැඩියා කරගැනීමට පැමිණි පුද්ගලයෙක්ද අප කතාවට හවුල් වුණා. ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙක්. මේ ඔහුගේ අදහස්,
“මගේ මේ බයික් එක මම දැන් අවුරුදු කීපයකට කලින් අරගත්තේ රුපියල් දහසයදාහකට අළුතෙන්. දැන් මේක විකුණන්න පුළුවන් රුපියල් තිස් අටදාහකට හතලිස්දාහකට කිට්ටු වෙන්න. පෙට්‍රල් නැත්නම් මේක තමයි එකම විසඳුම. බයිසිකල්වල බඩුත් ගණන්නේ සෑහෙන්න. ඒවා තමයි මේ කාලේ ආණ්ඩුවෙන් ගෙන්වන්න ඕනේ.”
තලාහේන ප්‍රදේශයේ වින්කලයක සේවය කරමින් සිටි අයෙක් තමන් කරමින් සිටි රාජකාරිය අතරතුරම අප සමග කෙටි සාකච්ඡාවක නිරත වුණා.
“මම මෙතන වැඩ කරන්නේ නැහැ. බොසාට වැඩ වැඩි අද. මම මේ යනගමන් දැකලා පොඩි සපෝර්ට් එකක් දෙන්න ආවේ. වින්කල්වලට මේ දවස්වල වැඩ නම් වැඩියි. ටයර් එකක් දැන් දෙදහස් පන්සීයක් වෙනවා. රුපියල් නවසීයට ආවේ. පොඩි බයිසිකල්වල ටයරුත් ගණන්. අළුත් බයිසිකලයක්ම රුපියල් පනස්පන්දාහක් වෙනවා. ඉතින් මිනිස්සු ගෙදර තියෙන බයිසිකලේ එහෙම අරගෙන එනවා.”
රාජගිරිය ප්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ වින්කලයක් පවත්වාගෙන යන සෝමදාස මහතා සොයාගෙනද අප ගියා. සෝමදාස මහතාගේ වින්කලයට බොහෝවිට පැමිණෙන්නේ කුඩා ළමුන්. ඒ සෝමදාස මහතා ළමුන්ගේ පාපැදිවලට විවිධ අලංකරණ උපාංග සවි කිරීම පිළිබඳව තමන්ගේ නම දිගු කාලයක් පුරාවට රඳවාගෙන සිටීම හේතුවෙන්. ඔහු අප සමග අදහස් හුවමාරු කර ගත්තේ මෙලෙසින්.
“වෙනදාට ගොඩක්ම ආවේ පොඩි ළමයිනුයි අපි වගේ වයසක මිනිස්සුයි. මේ දවස්වල පොඩි ළමයින්ගේ ඉඳලා හැමෝම බයිසිකල් හදාගන්න එනවා. වැඩ නම් සෑහෙන්න තියෙනවා. ඒත් ලොකු ලොකු ගණන් ගන්න බෑ මේවායේ වැඩ කරලා. පැච් දාන, හුළං ගහන වගේ ඒවාට රුපියල් පනහක් සීයක් ගන්නවා. අපිත් දුප්පත් මිනිස්සුනේ. මේකෙන් තමයි ජීවත් වෙන්නේ. වැඩ ගොඩක් ආවාට පොඩි පොඩි ගණන්නේ එකතු වෙන්නේ. මිනිස්සු දිගටම බයිසිකල් පදිනවා නම් හොඳයි. දැන් අලුත් බයිසිකලයක් අස්ප ගණන්නේ. පරණ බයිසිකල් අරං ඇවිත් රෙපෙයාර් කරගෙන යනවා. මං දැන් අවුරුදු විස්සක් විතර තිස්සේ වින්කල් රස්සාව තමයි කරන්නේ.
ලයිට් සෙට් හෝන් සෙට් දැන් හෙන ගණන්නේ. මගේ ළඟ ස්ටොක් කරපු ඒවා නෑ. කාටහරි හෝන් සෙට් එකක් දාන්න ඕනේ නම් ගෙනල්ලා දුන්නාම මම සෙට් කරලා දෙනවා. දැන් ළමයි බයිසිකලේට ගැජට් හයි කරනවා අඩුයිනේ.”
වින්කල් හොය හොයා අපි කොළඹ අවට ප්‍රදේශ කිහිපයකම සංචාරය කළා. මේ සංචාරය අතරතුරදීත් අපට පාපැදියෙන් රාජකාරී සඳහා එන යන, දෛනික ගමන් සඳහා පාපැදිය භාවිතා කරන බොහෝ දෙනෙකුද දක්නට ලැබුණා. අතුරුගිරියට මදක් නුදුරින් පිහිටා තිබෙන වින්කලයකත් අප මදකට නතර වුණේ එහි අප දුටු බොහෝ ස්ථාන තරම් සෙනගක් නොදුටු නිසා. එම වින්කලයේ අයිතිකරු අප සමග අදහස් දැක්වූයේ මෙලෙසින්.
“ආ.. ඒ තරම් වැඩ නෑ. සාමාන්‍ය විදිහට වැඩ එනවා. වෙනසක් නෑ. මිනිස්සු දැන් බයිසිකල් වැඩියෙන් පදිනවා නම් පේනවා. බයිසිකල් පාර්ට්ස් නම් සෑහෙන්න ගණන්. මං කොටුවෙනුයි, පනාගොඩිනුයි තමයි පාර්ට්ස් ගන්නේ. ඒවායේත් දැන් ගණන්. කොටුවේ නම් බඩු හොයාගන්නත් නෑ. රට මෙහෙම ගියොත් හැම මනුස්සයෙක්ම ෆුට් සයිකලේට බහී. සමහරවිට එතකොට බිස්නස් වැඩි වෙයි. තාම නම් විශේෂයක් නෑ.”
එම වින්කලයේ තම පාපැදිය අළුත්වැඩියා කරගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන්ද අප අදහස් විමසා සිටියා. මේ ඔහු,
“මං දවස් තුනක් පෝලිමේ හිටියා ගිය සතියේ. කොහේ ගහගන්නද. බයික් එක ගෙදරට දාලා වහලා යාළුවෙක්ගෙන් අඩුවට පාවිච්චි කරන්නේ නැති බයිසිකලයක් අරගත්තා. ඒ හදාගන්න මේ ආවේ. මගේ ළඟ බයිසිකල් දෙකක් තිබුණා පුතාලා දෙන්නට අරන් දීලා තිබ්බ. එයාලා දැන් ලොකු නිසා ඔය බයිසිකල් දෙක පැද්දේ නෑ අවුරුදු ගාණකින්. ඊටපස්සේ මං දැන් මාස හය හතකට කලින් නිකන් දීලා දැම්මා යාලුවෙක්ට. දැන් තිබ්බා නම් හොඳ ගාණකට දෙන්න තිබ්බා. නරක නෑ දැන් රට යන විදිහ. අපි ආපස්සට යනවනේ. හැබැයි මෙයාලාට නම් (වින්කල්කරුට) ඉස්සරහාට ගොඩක් වැඩ එයි. වාහන මග නැවතුනාම බයිසිකලුයි කරත්තයිනේ ඉතුරු වෙන්නේ”
Takata Airbag ගැටලුව
Takata (ටකාටා) Airbag පිළිබඳ දැවැන්ත ප්‍රශ්ණයක් මේ වනවිට පැන නැගී තිබේ. මෝටර් රථ නිෂ්පාදනය…