වාහන පදින ඔබ එන්ජිමක් බෝර් කිරීම පිළිබඳ අනිවාර්යයෙන්ම අසා තිබිය යුතුය. මෙය ටිකක් මුදල් වියදම් වන වැඩක්. ඒ නිසා බොහෝ දෙනෙකු එන්ජිම් බෝර් කිරීමක් ළඟ එන බව දැණුනු ගමන් වාහනය විකුණන අවස්ථාද නැතුව නෙමෙයි. සමහරු බෝර් කරලා දිගටම පාවිච්චි කරනවා. ඉතින් අපි අද බලමු මේ බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා.

Bore එක හා Stroke එක

Bore and Strock

අභ්‍යන්තර දහන එන්ජිමක පිස්ටන් එක ඉහළ පහළ යන්නේ සිලින්ඩර් එකක් ඇතුළේ. සිලින්ඩරයේ හරස්කඩ විෂ්කම්භය තමයි බෝර් (Bore) එක කියන්නේ. කලින් කිව්වනේ මේ සිලින්ඩරේ ඇතුළේ තමයි පිෂ්ටන් එක ඉහළ පහළ යන්නේ කියලා. පිෂ්ටන් එකේ මතුපිට සිලින්ඩරය තුළ ගමන් කරන උපරිම උස (TDC – Top Dead Center) හා අවම උස (BDC – Bottom  Dead Center) අතර පරතරය හඳුන්වන්නේ Stroke එක කියලා. එන්ජිමක එන්ජිම් Capacity එක තීරණය කරන්නේ මේ කියන Bore එකෙන් හා Stroke එකෙන්.

සිලින්ඩරය ගෙවී යෑම

අභ්‍යන්තර දහන එන්ජිමක කාර්යය සිදුවන්න දහනයක් සිදුවිය යුතුය. එම දහනය වන්නේ ඉන්ධන මිශ්‍ර වාතය සිලින්ඩරය තුළදී සම්පීඩනය කර දහනය කිරීමේදී. හොඳ දහනයක් සිදුවන්න මෙම සිලින්ඩරය තුළ හොඳ පීඩනයක් පැවතිය යුතුය. මෙන්න මේ කියන පීඩනය කුමන හෝ තැනකින් කාන්දු වන්නේද දහනය සාර්ථක වන්නේ නැහැ. මෙසේ කාන්දු වීමට තිබෙන්නේ පිෂ්ටනය හා සිලින්ඩරය අතර ගෙවී යාමෙන්. සාමාන්‍යයෙන් පිෂ්ටනය හා සිලින්ඩරය අතර පිෂ්ටන් රින්ග් මගින් එය බොහෝ දුරට පාලනය කරනවා. සිලින්ඩරය Seal කරන් තියන් ඉන්නෙත් මේ පිෂ්ටන් රින්ග් වලින්. කෙසේ නමුත් සිදුවන චලන එක්ක කාලයත් එක්ක මේ සිලින්ඩරය ගෙවී යෑම  සිදුවෙනවා.

පිෂ්ටන් රින්ග් ගෙවීමෙන්

Piston Ring 1

සාමාන්‍යයෙන් මුලින්ම පිෂ්ටන් රින්ග් ගෙවීම සිදුවෙයි. මෙහිදී බෝර් එකට හානියක් සිදුවී නැති විය හැකිය. පිෂ්ටන් රින්ග් ගෙවුණු පසු සිදුවන්නේ පිෂ්ටන් එක යට තිබෙන Oil ඒ හරහා ඉහළට ඇවිත් Oil දහනය වී පිටවී යෑමයි. මෙය සුදුපාට දුමක් සේ සයිලන්සර් එකෙන් දැකගත හැකිය. මෙවැනි අවස්ථාවකදී පිෂ්ටන් රින්ග් මරුකිරීම් මගින් දෝෂය පිළිසකර කරගත හැකිය.

බෝර් එක ගෙවීමෙන්

engine bore 1

දිගුකාලයක් භාවිත කළ එන්ජිමක් නම් සිලින්ඩරය කැපීම මගින් බෝර් එක විශාල විය හැකිය. එනම් බෝර් එකේ විෂ්කම්භය වැඩිවනු ඇත. මෙවැනි අවස්ථාවකදී පිෂ්ටන් එකට හා පිෂ්ටන් රින්ග්වලට සිලින්ඩර් බිත්තිය Seal කර ගැනීමට නොහැකි වෙනවා. ඉන්ධන හා වායුමිශ්‍රණය මගින් ඇතිකරවන පීඩනය අවශ්‍ය පරිදි නොලැබීම, පිෂ්ටනය යටින් ඉහළට තෙල් කාන්දු වීම වැනි දෝෂ ඇති වෙයි.

එන්ජිම බෝර් කිරීම

engine boreing

කලින් සඳහන් කළ ආකාරයට බෝර් එක ගෙවී ගොස් නම්, බෝර් කරන මැෂින් එකක් ආදාරයෙන් බෝර් එකේ විශ්කම්භය තව ටිකක් වැඩි කර ගන්නවා. මෙන්න මේකට තමයි එන්ජිම් බෝර් කරනවා කියන්නේ. ඊට පසු එම බෝර් එකට ගැලපෙන අලුත් පිෂ්ටන් එකක් භාවිත කරනවා. සාමාන්‍යයෙන් සිලින්ඩරයක් 4 පාරක් විතර බෝර් කරගත හැකිය.

Carburetor හා EFI එන්ජිම්

එන්ජිම් බෝර් කිරීමේදී එහි ප්‍රධාන අවාසියක් ලෙස සැලකෙන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවයි. මෙය දරුණු ලෙස බලපානුයේ Carburetor එන්ජිම්වලටයි. මෙවැනි එන්ජිම් බෝර් කිරීමේදී තිබූ ප්‍රමාණයට වඩා සිලින්ඩරයේ පරිමාව වැඩිවෙයි. පරිමාව වැඩිවන විට ඒ තුළට එන ඉන්ධන හා වායු මිශ්‍රණ ප්‍රමාණය වැඩියි. එනම් වැඩි ඉන්ධන ප්‍රමාණයක් සිලින්ඩරය තුළට එන අතර අපේක්ෂා කරන පරිදි දහනයක් බොහෝවිට එමගින් සිදුවන්නේ නැහැ. නමුත් EFI එන්ජින් බෝර් කිරීමේදී කළින් ඉන්ධන නිකුත් කළ පරිමාවම බෝර් කිරීමෙන් පසුත් එම පරිමාවම සිළින්ඩරය තුළට නිකුත් කරනු ලබයි. මේ නිසා බෝර් කිරීමේදී ප්‍රධාන ගැටලුව වන්නේ Carburetor එන්ජිම්වලට. මෙවැනි එන්ජිම් සහිත යතුරුපැදි හෝ වාහන බෝර් කරන්න කරන්න ඉන්ධන ලීටරයකින් ගමන් කරන දුර බොහෝ සෙයින් අඩුවෙයි.

Engine sleeve ගැසීම

Engine sleeve

එන්ජිමේ ඉන්ධන කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කිරීම ඔබට ගැටලුවක් නම් ඊට විසඳුම වන්නේ sleeve ගැසීමයි. මෙහිදී වන්නේ කලින් සඳහන් කළ සිලින්ඩරය නැත්නම් sleeve එක ගලවා කොම්පැනියෙන් වාහනයේ Standard වලට නිකුත් කරන sleeve එක ගැසිය යුතුය. මෙහිදී භාවිත කළ යුතු වන්නේද එම sleeve එකට ගැලපෙන Standard පිෂ්ටන්ය. මෙසේ සිදුකිරීමේදී වාහනය ගැනීමේදී තිබූ ඉන්ධන කාර්යක්ෂමතාව නැවත ඔබට ලබා ගන්න පුළුවන්.

ඒ අනුව බෝර් කිරීමට වඩා sleeve ගැසීම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් ඉතිරිවන මුදලත් සමග ඔබට වාසි සහගත වනු ඇත.

Low RPM

බෝර් කිරීමෙන් පසු හෝ sleeve ගැසීමෙන් පසු අලුත් පිෂ්ටන් භාවිත කරනු ලබයි. මේ නිසා පිෂ්ටන් හා සිලින්ඩරය අතර පොඩි තද ගතියක් දැනෙනු ඇත. මෙය යථා තත්ත්වයට පත්වන්න ටික දවසක් නැත්නම්,  කි.මීටර් 1000ක දුරක්වත් අඩු RPM එකක ධාවනය කළ යුතුය. ඉන් පසු අනිවාර්යයෙන්ම Oil මාරුකිරීමද සිදුකළ යුතුය. ඔබ වැඩි RPM එකක ධාවනය කිරීමේදී පිෂ්ටනය හා සිලින්ඩරය බදන ගතියක් ඇතිවෙයි.  මේක තමයි engine seized වෙනවා කියන්නේ.

එන්ජිම් බෝර් කළ ඇතැම් බස්රථවල එන්ජිම් කවරයේ %සෙමින් ධාවනය කරන්න, එන්ජිම බෝර් කර ඇත^ වැනි වදන් ගසා ඇතිබව ඔබ දැක තිබිය හැක. ඒ රියැදුරන් මාරු වීමේදී ඔවුන්ට දැන ගැනීම සඳහාය.

ඔබට බෝර් කිරීම පිළිබඳ දැනුමක් ලැබෙන්නට ඇත. ඉතින් ඔබේ වාහනයේ මෙවැනි දෝෂයක් පැමිණි විට ඔබ හොඳින් වාහනය ගලවන කාර්මිකයා සමග සම්බන්ධ වී සිදුවී ඇති දේ ඔබම තේරුම් ගන්න උත්සහ කරන්න. ඇතැම් විට කාර්මිකයා විසින් පිෂ්ටන් රින්ග් ගෙවී ඇතිවිටත් බෝර් කිරීමට යොමු කර ඔබේ මුදල් කඩා ගැනීමට උත්සුක විය හැකිය. මේ නිසා මේ පිළිබඳ දැනුවත් වී සිටීම වැදගත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සුළු කොට නොතැකිය යුතු Wheel Alignment

වාහනයක් තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Wheel Alignment එකක් කරලා තියෙන්න ඕන. අලුතෙන්ම වාහන…