වෙලාව අලුයම 4.00යි. කොළඹින් ගමන් ගත් අප කොට්ටාවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ටිකට් පතක් ලබා ගත්තේය. වටපිටාවම ගණ අන්ධකාරයෙන් වෙළී ගොස්ය. ඈත අහසේ එක තරුවක් දිස්විය. ඒ ගණ අන්ධකාරය මැදින් වැලිපැන්නට Exit එකට කිලෝමීටරයක් මෑතින් ඇති සේවා කලාපය පසුවිය. එහි විවේකයක් ලබානොගත්තේ අපේ ගමනාන්තයට ඉක්මනින්ම ළඟා විය යුතු නිසාය. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වේගයෙන් පසුවිය. කසාගල exit එකෙන් පිටවූ මෝටර් රථය රන්න දෙසටත්, රන්නෙන් හම්බන්තොට දෙසටත් ගමන් කළේය. රන්න හුංගම ටවුන් දෙක අතර ඇති 214 කිලෝමීටර් කණුව ළඟින් දකුණට හැරී කි.මී. 4ක් විතර ගමන් කළේය. කළුවර පහවී අරුණැල්ලේ අවසන් හෝරා කිහිපය ගෙවා යමින් තිබුණි. අවසානයේදී අප සිය ගමනාන්තයට ළඟාවිය.

මෝටර් රථය නවතා අප ගමන් සගයා මුණ ගැසුණි. ඔහු නමින් බුද්ධි ප්‍රියංකර. ඉදිරි ගමන හා වැඩපිළිවෙල ගැන දැනුවත් කරමින් ඔහු සමග අප කලමැටිය කලපුවට සේන්දු විය. එහි ඉවුරේ නවතා තිබූ පාරු දෙකකි. එකක පාරුව මත වූ කුඩා මේසයකි. අපේ ගමන සඳහා වූ ආම්පන්න මෙන්ම අතුරු ආහාර වේලක් සඳහා බිස්කට් පැකට් කිහිපයක්ද එහි විය. අපේ ගමන් සගයාගේ යහලුවෙකුද ඔහුට හබල් ගැසීමට සහාය වීමට පාරුවේ නැගී සිටියේය.

කුරුලු නාදයත් සමග, හිමිදිරි සීතලක් ඇඟ දැවටිණි. අප රැගත් පාරුව ඉවුරෙන් නික්මිණි. ටික වේලාවක් යන්නට මත්තෙන් අපට ඉහළින් විශාල පක්ෂීහු තිදෙනෙකු පියාඹා ගියෝය. අප ගමන් සගයා වූ බුද්ධි එම පක්ෂීන්ගේ නම් ගම් ඇතුව විස්තර කරන්නට විය. බුද්ධි සහ ඔහුගේ ගමන් සගයා මීටර් 200ක් පමණ හබල් ගැසීමෙන් පසු පාරුව ජලය මැද නැවැත්විය. ඈත කුරුල්ලන් කිහිප දෙනෙකි. පියවි ඇසට දර්ශනය නොවන්නට තරම් ඔවුන් එම පරිසරයට අනුවර්තනය වී සිටියේය. පාරුවේ තිබූ ප්‍රිෂ්ම දෙනතියක් (දුරබලන කණ්ණාඩියක්) බුද්ධි අප අත තැබුවේය.‍ එයින් මනා ලෙස ළඟින්ම එම කුරුල්ලන් නැරඹීමේ අවස්ථාව සැලසිණි. පාරුව සෙමින් සෙමින් ඉදිරියට ඇදුණි.

Kalametiya 13

පාරුව පැදයාමට තරම් අපහසු තරමට ජපන්ජබර වලින් වසාගෙනය. මේ අතරතුර කුරුල්ලන් විශේෂ 5-6ක් පමණ දැන කියා ගත්තේය.‍  ඒ අතර පිලිහුඬු වර්ග හා උකුසු වර්ගද විශේ‍ෂය. පෙර පැවති සීතල නැතිවී ගොස් උණුසුම් හිරුඑළිය ඇඟ වැටෙන්න පටන් ගත්තේය. අව්ව තැපීමට පැමිණි මොනර ජෝඩුවක් ඈත වූ ගලක් මුදුනේ සිටින අයුරු අප සහයකගේ යහලුවා පෙන්විය.

Kalametiya 3

“ඒ තමයි තාරගල. අපේ පාරුව යන්නේ අන්න ඒ තැනට‍”

“ගිහින්”

“ගිහින් අපිට පුළුවන් ඒ ගල උඩට නගින්න. අපේ සංචාරකයන් වැඩියෙන්ම කැමති ඒ ගල උඩට නැගලා නිදහස විඳින්න. ඒ ගල උඩට නැග්ගහම වටේ පෙනෙන දර්ශනය ඇත්තටම අත්විඳින්න ඕන”

Kalametiya 20

ඒ ගල නගන විදිහක් හෝ නගින මාර්ගයක් පෙනෙන තෙක් මානෙක නොවීය. පාරුව ගල සමීපයේ මීටර් ගණනාවක් ඈතින් නැවතුණි.

“මෙතන ඉඳන් පයින් තමයි ගල ලඟට යන්න වෙන්නේ.” බුද්ධි කියා සිටියේ පාරුව ඉවුරට අදිමිනි. පතොක් ගස් පිරි ලැහැබක් තුළින් අප ගල පාමුලට ගියේය. ‍ගලෙහි වූ කැඩී ගිය කොටස් ආදාරයෙන් ගල උඩටම නැගගත්තේ බුද්ධි සහ ඔහුගේ යාලුවාගේ උදවු උපකාර ඇතුවය. අවු රශ්මි නිසා තිබූ තෙහෙට්ටුව ගල උඩදී හැමූ සුළං පහරත් සමග නැතිවී ගියේය. මනස්කාන්ත දර්ශනයකි. ඇතිවෙන්නට සේයාරූ ගෙන නැවතත් අප බෝට්ටුවට ගොඩවිය. ගමන් සගයාගේ මිතුරා අපහට පතොක් ගෙඩි ආහාරය සඳහා පිරිනැමීය. මීට පෙර කා නොමැති මෙය සැබැවින්ම රස කෑමකි. ඒවගේම එහි වූ තද රතු පාට කට පුරාම තැවරුණි. පාරුවේ වූ වතුර‍ බෝතල් කිහිපයෙන් එකක් ගෙන කටට වක්කර ගත්තේය.

91535755 2603983276547584 2911374251955060736 o
Kalametiya 7
91310845 2606166506329261 5638262160850157568 o

“ඔයාලගේ වෙලාව. මේවා හැම කාලෙම නෑ. ඒ ඒ කාලවලදි අපි සංචාරකයන්ට විවිධ අත්දැකීම් දෙනවා. ඕලු මල් වලින් මාල හදලා දෙනවා.”

මේ අතර, පාරුව නැවතත් ගමන් ආරම්භ කළේය. මේ වනවිට කුරුළු වර්ග 20ක් විතර හඳුනා ගත්තෙමු. කුරුල්ලනුත් නරඹමින් පාරුවක සංචාරයක් සඳහා අප මෙහි පැමිණියද, කුරුල්ලන් ගැන හදාරන, ඡායාරූප ගත කරන්නන්ට සුපිරි තෝතැන්නකි.

අප ගමන් සගයා බෝට්ටුව මත වූ බිස්කට් පැකට් එක විවෘත කර අපවෙත පිළිගැන්විය.

Kalametiya 19

“මේ සංචාරයේදී සාමාන්‍යයෙන් කුරුලු විශේෂ 30-60ත් අතර ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. කළමැටිය කියන්නේ කලපු පරිසර පද්ධතියක් ආශිතව පිහිටා තියෙන ලංකාවේ පැරණිතම කුරුළු අභය භූමියක්. කුරුලු විශේෂ 150ක් විතර මෙහි ගැවසෙනවා. කුරුල්ලන් නරඹන්න හොඳම කාලේ තමයි නොවැම්බර් ඉඳලා අප්‍රේල් මාසවල.”

“මේ පාරුව පෙරළිලා එහෙම නැද්ද කලපුවේ” අපි ඇසුවෙමු.

“පෙරළිලා නැහැ, ආරක්ෂක උපාංග තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. එක දවසක් විදෙස් සංචාරකයෙකුගේ කකුල පොඩි මඩවලක එරුණා. ඒ පාර සිය පවුල පිටින්ම මඩවලට බැහැලා සෙල්ලම් කළා” යැයි අපේ ගමන් සගයා සිය අත්දැකීම් අපත් සමග බෙදා ගත්තේය. 

“තවත් වරක්, විදෙස් සංචාරකයන්ට බටනලා ගහන්න ඉගැන්වුවා. මගේ බෑග් එකේ බටනලාවක් තියෙනවා. වේලාව තිබ්බොත් කලපුව මැද බටනලා ගහලා පොඩ්ඩක් විනෝද වෙනවා. කුරුල්ලන්ට කරදරයක් නොවෙන්න. බටනලා වගේම සංචාරකයන්ට මේ පාරුවේ ඉඳලා සිංහලද උගන්වලාද තියෙනවා.”

Kalametiya 5
Kalametiya 1

“පාරුව නැවතුනේ කුඩා දූපතක් වැනි ගස් ගාලක් ලඟ. මෙතන කුරුල්ලෝ කොච්චර ඉන්නවද?” සගයාගේ මිතුරා අපෙන් ඇසීය.

“ඔය පේන්න ඉන්න ටිකනේ.” ඒ සමගම අතෙහි වූ හබලෙන් වතුරට ගසා විශාල ශබ්දයක් නැගීය. ඒ සමගම විශාල කුරුල්ලෝ ඒමේ අත පියාඹන්නට විය. එතරම් කුරුල්ලන් එහි විසූබව සිතන්නටත් අපහසුය.

ඉන් නික්මුණු අප පාරුව තවත් කලපුව ඇතුළට ගියේය. සගයාගේ මිතුරාගෙන් හබල ඉල්ලා ගනිමින් හබල් ගසන්නට විය. එය සිතන තරම් පහසු කටයුත්තක් නොවීය. නමුත් ජලයේ යන මෙවන් වාහනයක අත්දැකීමද අප ලබාගත යුතුය.

හිරු රශ්මිය එන්න එන්නම දැඩි විය. අපි පාරුව නැවත ආරම්භක ස්ථානය කරා ගමන් කළෙමු. කුරුල්ලන් ගණනාවක් නම ගම එක්කම දැනගත්තෙමු. ඇතිවෙන්න Photoත් ගැසුවෙමු. මේ පැය 2- 2 ½ නොදැනීම ගෙවුණි

“කුරුල්ලෝ බලන්න එනවනම් එන්න ඕන උදේ 6.00 වෙනකොට හරි හවස 3.30 වනවිට. හවසට ‍දැන් දැක්ක කුරුල්ලෝ සමහරක් දකින්න ලැබෙන්නේ නෑ. වෙනත් විශේෂ බලන්න පුළුවන්‍. ඉර බැහැගෙන යද්දී කලපුව මැද පාරුවේ ඉඳලා බටනලා පාරක් අහන්න විදෙස් සංචාරකයන් මාර කැමතියි.”  බුද්ධි පැවසීය.

Kalametiya 17
Kalametiya 15
Kalametiya 16

මේ ආකාරයට පාරුවෙන් අපි අපේ මුල්ම සංචාරය ආරම්භ කළා. වාහන කිව්වම පාරුවත් අයිතියිනේ. මේ වගේ වෙනස් ආකාරයක සංචාරයකට ඔබටත් මෙතැනට එන්න පුළුවන්. බුද්ධි සහ ඔහුගේ සහයකයාගේ සේවයනම් සුපිරි. බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. කුරුල්ලෝ බලන්න, පාරුවක ගමන් කරන්න, ගල් තරණය, කුරුල්ලෝ ගැන දැනගන්න, Photo ගන්න වගේ ගොඩක් දේවල් මෙතනට ආවහම කරන්න පුළුවන්. කතාකරන්න අපේ ගමන් සගයට බුද්ධි ප්‍රියංකර – 071 355 7925

00
  • නම: E.J.A.P. බුද්ධි ප්‍රියංකර
  • පාසල: හුංගම විජයබා විද්‍යාලය

මම පොඩි පොඩි කාලේ සිට මා කුරුල්ලන් හා අනෙකුත් සතුන්ට දැඩිසේ ආදරය කළා. ඒ වගේම පරිසරය සමග  කිට්ටුවෙන් ජීවත්වීමට උවමනාව තිබුණ නිසාත්, මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නිසා තමයි මේ වගේ ව්‍යාපාරයක් පටන් ගත්තේ‍. සංචාරකයින් නිසි ක්‍රම වේදයක් නැතුව කුරුලු අභය භූමිය නැරඹීමේ නිරත වුණා‍. ඒ නිසා නිසි ක්‍රමවේදයක් යටතේ මෙම සංචාරකයන්ට වෘත්තිමය සේවාවක් ලබා දීමට අවශ්‍ය වූ නිසා මෙය පටන් ගත්තා. මේ වනවිට දෙස්විදෙස් සංචාරකයන් ගණනාවකට කුරුල්ලන් හඳුනාගැනීමට නිසි අවබෝධයක් දී තිබෙනවා‍. ඔබත් කැමතිනම් කුරුල්ලන් නරඹන්න, පාරුවක සංචාරය කරන්න වගේ තවත් ක්‍රියාකාරකම් ගොඩක් අපි සංචාරකයන්ට ලබා දෙනවා.

පැමිණෙන හැමෝටම කියන්නේ. එන්න මේ සුන්දරත්වය විඳින්න, නිදහස විඳින්න. ඒත් මේ පරිසරයට කිසිඳු හානියක් කරන්න එපා. මෙය ඉදිරියටත් රැකගත යුතු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

කොළඹ සිට උඩවලව හරහා කතරගම දක්වා බයික්වලින්

බයික්වලින් ඔහියේ ඉඳලා කලුපනට යන Road Trip එකක් මීට පෙර අපි ඔබට ගෙන ආවා. මෙවර අපි ගෙන එන්න …